Tuesday, August 25, 2009

මහපොළවට වන් රැජින ගැන මගේ සටහන - ආකාස කුසුම්

මම චිත්‍රපටශාලාවක‍‍ට ගිහිං ෆිල්ම් එකක් බලලා තියෙන්නේ අතේ ඇගිලි ගාණටත් අඩුවෙන්ද මංදා.. ඒ යන්න තියන අකමැත්තම නෙවෙයි.. ගිහිං බලන්න තියෙන චිත්‍රපට වලට තියන අකමැත්ත.. ගේ ළග සීඩී ශොප් එකෙන් හිංදි ටික ගතහැකි.. නෙට් එකෙන් ඉංග්‍රීසි ටික ගතහැකි.. ඉතිං හෝල් එකකට ගිහිං බලන්න ඉතුරු වෙන්නේ අළුතින් එන සිංහල ෆිල්ම් එකක් විතරයිනේ.. ඒවා බලලා ඇවිල්ලා නාස්ති වෙච්චි කාලේ ගැනයි සල්ලි ගැනයි හූල්ලනවට වඩා ‍ඔළුවේ ඉදන් පෙරවෙගෙන ගෙදරට වෙලා නිදා ගන්න එක සැපයිනේ? ඒ නිසා තමයි මම ඒ ගැන අමතක කරලා තියෙන්නේ.. ආයේ බොරු කියන්න ඕනි නැහැනේ ඉතිං මුලින්ම ජූලියා ගේ කට්අවුට් එකක් මම දැක්කේ ෆිල්ම් එක පෙන්නන්න මාසෙකට විතර කලින්.. ඉතිං ඒක බලන්න හිතුනත් ඒකට අනුමැතිය ආවේ නෑ. ඉතිං ෆිල්ම් එක අමතක කරලා ඉන්නකොට දැක්ක විචාරක හා ප්‍රේකෂක ප්‍රතිචාර අනූව නොයා හිටිය එක ගැන ‍බොහෝම සතුටු හිතුනා.
ඉතිං ඔයින් මෙයින් ඊට පස්සේ ආවේ "ආකාස කුසුම්" නේ. ඒකට නම් අනුමැතිය ලැබුනා. ඉතිං ඊයේ දවල් 2.30 වෙන්න ඔන්න මෙන්න තියලා රීගල් එකට ගිහිං වාඩි වෙන්න පුළුවන් උනා.. ඔව් ඔව්.. ඒක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා තමා තිබ්බේ.. ඒ වුනාට කාන්ට් හෙල්ප් දැන් 18+ වෙලා ටිකක් කල් වෙනවානේ..
මම අන්තිමටම බැලුව සිංහල චිත්‍රපට දෙක "අබා" හා "මචං".. ඒ දෙකම දෙවිදියකට මගේ හිතේ මතක සටහන් තිබ්බ නිර්මාණ දෙකක්. හැබැයි ආකාස කුසුම් ඊටත් වඩා ඈතට මාව අරන් ගියා.. කොහොමත් ප්‍රසන්න කියන්නේ චිත්‍රපට අතරේ අපේ සිනමාව ගැන හූල්ලවන නිර්මාණ කාරයෙක් නෙවෙයිනේ... ඊයෙත් ඒක එහෙම තමා... නම් පෙලෙන් පටන් අරන්.. අන්තිමට රීගල් එකේ තිරේ කළුපාටින් සුදුපාට වෙලා ලයිට් ඔන් වෙනකං අපිව චිත්‍රපටය හා සමාජය ඇ‍තුලේ කරක් ගස්සවමින් එදිනෙදා අපි දකින මුණ ගැහෙන ඇසුරු කරන පිරිසක් දිහා තුන්වන පාර්ශවයක් විදියට අපිව අපූරුවට අරගෙන යනවා..මම දන්නේ නැහැ පිරිමින්ට ආකාස කුසුම් කොයි විදියට විදින්න පුළුවන්ද කියලා.. ඒත් ගැහැණියක් විදියට මම ආකාස කුසුම් උපරිමව වින්දා.. එහෙමත් නැත්තං විදෙව්වා..!!
අපි දන්නවා.. කොයි තරම් ඉහලින් මලක් පිපුණත් අන්තිමේ පරවෙලා වැටෙන්නේ බිමට.. ආකාස කුසුම් ඇතුලේ මුණගැහෙන හැම ගැහැණියක්ම විවිධ මට්ටම් වලින් ඒක නිරූපණය කරනවා..ජනප්‍රිය වෙන්න.. ප්‍රසිද්ධ වෙන්න කැමති හැමෝම පැය 2ක් වියදම් කරලා චිත්‍රපටය බැලුවට නරකක් වෙන්නේ නෑ.. ඒ අතරේ නිළියෝ ගායිකාවෝ නෙවෙයි.. හැම ගැහැණියකටමත් අන්තිමේ පොදුවෙන මහාපොදු ප්‍රවාහයක් ඇතුලට ඇවිත් කථාව කෙලවර වෙනවා.. ඒ තමයි මාතෘත්වය..!! ඊට කලින් කොයි කොයි ඉසව් වල කථාව පෙරලෙනවද කියලා මම කියන්නේ නැහැ.. කැමති අය ගිහිං බලන්න කියලා විතරක් කියන්නම්..
අන්තිමට මම මේ ටිකත් කියන්න හිතුනා.. හැමෝම කියන්නේ මේ චිත්‍රපටයේ මාලීනී ෆොන්සේකා මහත්මියගේ විශිෂ්ඨ රංගනයක් දකින්න පුළුවන් කියලයි.. ඒත් මම පුද්ගලිකව වැඩිම ලකුණු දෙන්නේ ප්‍රියාගේ චරිතය රගපාන නිම්මි හරස්ගම ට. මම දන්නේ නෑ ඇයි කියලා මුලු කථාව පුරාම මගේ වැඩිම අවධාණයක් ගත්තේ එයා. හැමෝගෙම ජිවිත කථා ඇතුලේ වැඩියෙන්ම අසාධාරණයට ලක්වෙන්නෙත් ප්‍රියා.. ඒ නිසා මම කැමතිම ප්‍රියාගේ චරිතයට..
තව ලියන්න ගොඩක් දේවල් ඔළුවට ආවත් ලිය ලිය ඉන්න වෙලා නෑ.. තර්කයක් නැති කථා බලන්න අකමැති අයයි.. කොට සායවල් ඇදන් ඉන්න ගෑණු අයව බලන්න ඕනි අයයි හැමෝටමත්.. හොද නිර්මාණයක් බලන්න කැමති අයත් ගිහිං බලන්න.. තාම අපේ සිනමාවට පණ තියනවා කියලා හිතෙයි. :-)

ආකාස කුසුම් ගැන ලිව්ව තවත් අය :- මරණය රජරටපුත්‍රයා

17 comments:

  1. ඔයා කියන විදියටනම් හොදයි වගේ....කොහොම බලන්නද මෙහේ?????? ඒත් ඉතිං , ලංකාවට ආවම කොපියක් හොයා ගන්නම්කෝ...

    ReplyDelete
  2. මටත් ටිකක් වැදුනු චිත්‍රපටියක්.. මූලික වස්තු බීජය ටිකක් විතර හැමතැනම පේන්න තියෙන කතාවක් වුනත් ඒක තිරයට හරි ලස්සනට අරන් තියෙනව. ආකාස කුසුම් බලනවනම් හැම සද්දයක්ම හැම රූපයක්ම ඔලුවට දාගන්න වෙනවා. මතකද.. එලාම් එක වදින එක.. ඒකේ වෙනම ප්‍රකාශනයක් තියෙනවා. තව මතකද චැනල් මාරු කරන එක මට අපැහැදිලි වුනේ අර පැටිස් හදන එකෙන් මොකද්ද පෙන්නන්නෙ කියන එක විතරයි. මමත් මාලිනිට වඩා නිම්මිට ලකුණක් දෙනවා. ඊ චරිතෙ තියෙන විඳවීම මරුවට පෙන්නනවා.

    ReplyDelete
  3. ආගන්තුකයා - මට නම් පැටිස් දැනුනේ මෙහෙමයි.. සරළව ගත්තොත් පැටිස් කියන්නේ ෂෝට්ඊට්ස් එකක්.. එක කටටත් මදි.. ඒත් ඒක හදන්න ඊට වඩා කැපවීමක් කරන්න ඕනි. අනික බලන්න පැටිස් හදන්න පාවිච්චි කරන උපකරණ.. සාමාන්‍යයෙන් පැටිස් හදන්න වෙනමම අච්චු තියනවා.. ඒත් රවුම් කපන්න මෙතන ගන්නේ සැමන් ටිං එකක්..ඒකේ හැ‍ඩේ හදන්නේ ගෑරුප්පුවකින්.. එ‍්ත් එකටත් වෙනම අච්චුවක් තියනවා.. ඒ ගෑරුප්පුවේ මිට දැක්කද? කාලයක් ජනප්‍රිය නිළියක් වෙච්ච කෙනෙක්ට ඒ වගේ දෙයක් උනත් කරන්න වෙලා තියෙන්නේ කොයි තරම් කට්ටක් කාලද?ඒ කියන්නේ ඒයා ඉන්නේ අවම මට්ටමේ.. අනික ඒ හදලා ලැබෙන සොච්චමෙන් අරක්කු බාගේ ‍ගත්තම ඉතිරි වෙන්නේ එකසිය පනහකුයි කාසි ටිකකුයි.. ඒ ටික ජිවත් වෙන්න මදිනේ.. එලාම් තියලා පදමට හදලා ගත්තත් එකෙන් ලැබෙන මහ දෙයක් නෑ.. මට පැටිස් දැනුනේ ඒ විදියට.

    ඔව් නිම්මිගේ මූ‍ණේම ඒ හැම හැගීමක්ම තියනවා කියවෙනවා වගේ කියලයි මට දැනුනේ.. අදූරු පාට තොල් දෙක.. විනිවිද යන ඇස්.. !!මට තාමත් මැවෙනවා..!

    ReplyDelete
  4. ohhh god..
    send me link to watch this film.... i cant wait till it comes to european film festivels.....

    ReplyDelete
  5. ෆිල්ම් එක හොඳයි. අධ්‍යක්‍ෂණය මරු. සංස්කරණය ටොප්. මියුසික් හොඳා. රඟපෑම් ඉහලයි. ඒත් කාස්ටින් අනා ගෙන.

    සනධ්‍යා රානි ගෙ පොඩි කාලෙ පෙන්න්නෙ අවුරුදු විස්සකට් අඩු කෙල්ලෙක් ව බැඳල පොඩි ළමයෙකුත් හිටියට. පාවිච්චි කරන්නෙත් මාලිනී ෆොන්සේකා පුංචි බබා චිත්‍රපටිය කාලෙ ගත්තු ෆොටෝ. වර්තමානෙ සන්ධ්‍යා රානිට හැටක් විතර පේනව. ඇත්ත මාලනී ෆොන්සේකාටත් වැඩිය වයසයි. එහෙනම් ප්‍රියාට කතලිහක් වෙන්න ඕනෑ. එච්චර වයස කෙනෙක් ව ක්ලබ් එකක ඩාන්ස් කරන්න ගනීද? පුළුවන් ද?

    මාලනී ගෙ නංගිට කෞශල්‍යාව අරගත්තට නංගි කියල හිතෙන්නෙ නෑ. ඒ ක වහගන්න "මං නෙ පවුලෙන් ම කළු" කියල දෙබසකුත් දාල.

    කතන්දර කාරයා

    ReplyDelete
  6. යකෝ මට නම් ඉරිසියයි මේ මලියා එක්ක.. මට ඊයේ රෑ මෙච්චර ලියන්න බැරි වුනානේ.. ලියන්න බැරිකමට නම් නෙමේ අනේ, කම්මැලිකමට.. ඔය මගුල තමයි හැම එකටම ගහලා තියෙන්නේ.. හරි හරි... මං තව එකක් ලියනවා ආකාස කුසුම් ගැන.. නැත්නම් හරිම අසාධාරණයක් මං කරන්නේ...

    ආහ් නිම්මි හරස්ගමට ලකුණු දුන්නේ එයාගේ රඟපෑමටද නැත්නම් දුක හිතෙන චරිතෙටද ? මට නම් මාලනී තාමත් 1st.. ඒකට හේතුව අමුතු චරිතයක් රඟපානවට ව‍ඩා සාමාන්‍ය චරිතයක් රඟපෑම අමාරු වීම..

    ReplyDelete
  7. කතන්දරකාරයා කියන ටයිමින් අවුල නම් තියෙනවා තමයි. ප්‍රියාට 30යි සහ සන්ධ්‍යා රාණිට අවුරුදු 50ක් වෙන්න ඇති කියල හිතාගෙන බැලුවම හරි.

    මට නම් ඇත්තටම චිත්‍රපටියෙ කතාව එක්ක ප්‍රසන්න ගැන දුක හිතුණා. ඊට වඩා දෙයක් කරන්න පුළුවන්කම ප්‍රසන්නට තිබුනා කියල මට හිතෙනවා.

    මට මුළු චිත්‍රපටියම ඒකාංගික ටෙලියක් වගේ තමයි දැණුනෙ. රඟපෑම් නම් හොඳයි තමයි. ඒ වුණාට මාලනී ‍ෆොන්සේකා ඊට වඩා හොඳට ටෙලි නාට්‍ය වල රඟපානවා.

    සමස්තයක් විධියට චිත්‍රපටිය හොඳයි. සාමාන්‍යයෙන් ලංකාවෙ හැදෙන වෙනත් චිත්‍රපටි එක්ක ගත්තම ගොඩක්ම හොඳයි.

    ReplyDelete
  8. පිස්සා, ප්‍රසන්න විතානගේ චිත්‍රපටි ඩිවීඩි විදිහට ටෝරානා එකෙන් එළි දක්වයි, එතකොට බැලුව හැකි වෙවි.

    ReplyDelete
  9. Mondo - අනේ එහෙම එව්වා නම් මම දන්නේ නැහැ අක්කේ.. සොරි වෙන්න ඕනි :(
    Mr.Kathandara-haspatasiri! දැන් මේ කිව්වමයි ඒක මීටර් උනේ ඇත්ත ඇත්ත.. ඒක එහෙම තමා.. හැබැයි ඉතිං ප්‍රියාට අඩුම ගානේ 30+ වෙන්න ඇති කියලා එයාව දැක්කම කියතැහැකි නේ? එතකොට සනධ්‍යා රාණිට 50+ වෙන්න පුළුවන් හිතාගම්මු.. හික් හික්.. ඇත්ත.. නංගි අක්කට ව‍ඩා ගොඩක් වෙනස් තමා.. එතනට කෞෂල්‍යා නැතුව ප්‍රසන්නගේ වයිෆ්ව ගත්තා නම් ඒ අවුල නැති වෙනවා.. ඒත් ඇයි දන්නේ නැහැ එහෙම නොකලේ

    Udara-අනේ සහෝ..! මට මොනා කලත් කමක් නෑ ඉරිසියා නොකර.. ඔයත් ලියලා තිබ්බේ හොදට..! දෙකටම නිම්ම කොහොමත් කරන ටික හරියට කරන කෙනෙක් නේ?ෆිල්ම් එකේ මුලින්ම නිම්ම අර දොස්තර එයාගෙන් බැදලද කියලා අහන වෙලාවේ නැහැ කිව්ව මොහොතේ ඉදන් තියන එයාගේ මුණේ හැගීමක් නැති කමට මම හරිම කැමතියි.

    H-ටයිමින් ගැන පැත්තකින් තියමුකෝ! ඔය හින්දා තමයි මම මුලින්ම ලිව්වේ "මම දන්නේ නැහැ පිරිමින්ට ආකාස කුසුම් කොයි විදියට විදින්න පුළුවන්ද කියලා.." ඒ කථාව ඇතුලේ ගැහැණුන්ට පොදු කාරණා ගැන පිරිමි ඔයාලට තේරෙන්න විදියක් නෑ.! අනික චිත්‍රපටය ගලාගෙන යන විදියේ උනත් පිරිමියෙක් ප්‍රධාන චරිතෙට නැති චිත්‍රපටයක් ඇතුලේ ඔයාලා තෘප්තිමත් වීම අඩු ඇති.. ඒකයි කථාව ඔය තරම් අඩු තක්සේරුවකට දාන්නේ. මම ඔයා තරම් ෆිල්ම් බලලා නෑ තමයි.. ඒත් මේ ෆිල්ම් එක ඇතුලේ කථා වෙන ගැහැණු ප්‍රශ්ණ ගැන ඔයාට වඩා හො‍දට මං දන්නවා.. තේරුණාද මහත්තයෝ...! :p

    Binku- ඔව් පිස්සෝ.. බිංකු අරන් ඔයාටත් දෙයි. හික් හික්

    ReplyDelete
  10. බලන්න ඔනේ ! , අවුලකට තියෙන්නේ 18 + තමයී !!! , ගෙදර දෑනගත්තොත් මොනවයීන් මොනවා වෙයීද මන්දා !

    ReplyDelete
  11. කතන්දරකාරයා එක්ක මම එකඟ නෑ. චිත්‍රපටිය හොඳට බැලුවානම් සන්ධ්‍යා අවුරුදු 20 කින් විතර රඟපැමෙන් ඉවත්වෙලා කියලා කියනවනෙ එතකොට සන්ධ්‍යා රාණි අවුරුදු 5ක් රඟපෑවත් ප්‍රියාට අවුරුදු 27 විතර දාන්න පුළුවන් ඇයි කාටවත් හිතන්න බැරි මාලිනිට වයස වැඩියෙන් පේනවා කියලා. අවුරුදු 20ක් විතර කට්ටක් කාලා ජීවත් වෙනකොට වයස පේනවා වැඩි වෙන්න බැරිද . මම ඒක තමා කිව්වේ කතාව සාමන්‍ය වුනත් ඒක ජනනය කිරීම සාර්ථකයි.

    ReplyDelete
  12. මලී එලාම් එක මට වෙනම විදිහට තෙරුනේ. මතකද එලාම් එක වැදුනම් හැම කපල් එකම යන්න යනව ඒකියන්නේ ඒක එයාලට යන්න කියන්නෙ නැතුව යන්න කියනවා වගේ සීන් එකක්. එතන වෙන්නේ බිස්නස් එකක්. කොහොමත් අන්තිමට ගෑණියෙක්ට හැමදේටම ඉතුරු වෙන්නේ ගෑනියෙක් කියලා කියන කතාව නම් මටත් එකඟ නෑ. ඒ එකඟ නොවීම පුරුෂාධිපත්‍ය නිසා නම් නෙමෙයි.

    ReplyDelete
  13. අනේ මලියෝ.. විහිළුවට මං කිව්වේ.. මොන ඉරිසියාද මේ රජරට කොල්ලොන්ගේ.. හ්ම්.. නිම්මි හරස්ගමගේ රඟපෑම් මං දැක්කා එක වෙබ් සයිට් එකක තියෙනවා.. ඒක දැක්කොත් හිතන්නේ නෑ මේ නිම්මිමද කියලා.. ඇත්තටම දක්ෂයි නම් තමා, එත්.. මොකක්දෝ මංදා හුටප්පරයක් තියෙනවා මෙතන

    ReplyDelete
  14. Priya - මට හිතුන හැටියෙන් නම් ඒකේ වැඩිහිටියන්ට පමණයි දර්ශණ නෑ.. කොහොමත් ඒක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි මිසක් වැඩිහිටියන්ට පමණයි ම නෙවෙයි නේ..

    ආගන්තුකයා - ඔයා කියන දේත් ඇත්ත.. ගැහැණියක් කොහොමත් මුණ දෙන ප්‍රශ්ණත් එක්ක බොහොම ඉක්මනින් වියපත් වෙනවා.. ඔව් ඔව්.. එලාම් එකෙන් ඒකත් කියවෙනවා තමයි.. ඒත් මම මෙතනදි එලාම් එක පැටිස් වලට සම්බන්ධ වෙන විදියයි කිව්වේ. ඇත්ත.. මේක සම්පුර්ණයෙන්ම පුරුෂ විරෝධී චිත්‍රපටයක් නෙවෙයිනේ.. ගැහැණුන්ගේ දුර්වලතා ගැන මෙතන පැහැදිලිවම පෙන්වනවානේ.. ශාලිකාවම ගන්න.. එයා වෙන මිනිස්සු එක්ක ගියාට එයාගේ මුල් සැමියා හොද මනුස්සයෙක් වග පෙන්නවනවා.. එයාව නැති කරගන්නෙත් ශාලිකා මයි.. පැහැදිලියි මෙතන කාගේ කාගෙත් වැරදි අඩුපාඩු හොදට හීන් නූලෙන් පෙන්නනවා.

    උදාර - අනේ සීරියස් ගන්න එපා.. මාත් නිකං ජොලියට වගේ කිව්වේ. අනේ අපිටත් පුළුවන් නම් ඒ සයිට් එක දෙන්නකෝ.. මොකක්ද හුට්ටප්රේ? කියන්න කියන්න අපි සාකාච්ඡා මාර්ගයෙන් විසදගමුකෝ..!!!

    ReplyDelete
  15. බලන්න ඕන.ම්ම්...එත් වෙයිද?

    ReplyDelete
  16. ඔව්.. මලියෝ.. බිංකුවා හිත හොද එකා... ඌ අරන්, මටත් කොහෙන් හරි අප්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් දායි...

    ReplyDelete
  17. මටත් අහමිබෙන් ඕක බලන්න ලැබුණා මංගල දර්ශනෙන්ම..පළමු විනාඩි විස්ස විතර ෂොකින්..ඉන් පස්සේ නමි මේ තරම් කතාකරන්න තරම් දෙයක් නැති සාමාන්‍යයෙන් හොඳ ෆිල්ම් එකක් ‍විදිහටයි මගේ ඔලුවෙ රෙජිස්ටර් වුණේ.
    මට තේරුණ විදිහට සන්ධ්‍යා රාණිගෙ පොඩි කාලෙ පින්තූර අර දොඩමලු වෙන්න බැරි දැරිවිගෙ. සඳුනිගෙ. ඒක කාට වුණත් පේනවනෙ. එයා ගොඩක්ම මාලනී වගෙයි.ඒ ළමයත් ඒ පවුලෙම පුරුකක්නෙ.
    කතාවෙ‍ තේමාව තරමටම අවසානය ප්‍රබල නැහැයි කියලයි මට දැනෙන්නෙ. කම්පනය ප්‍රබල නැහැ මට දැනුණු. ඇයි මන්දා.
    කොහොමත් ලෝක සම්මාන ලැබෙන්න තරම් ප්‍රබල චිත්‍රපටයක් නෙවෙයි. නමට ගැලපෙන සාධාරණයක් අන්තර්ග‍තයෙ නැහැ. දෙ‍වෙනි පාරට බලන්න හිතුණත් අඩුපාඩු දැනෙන්නේ ඇයි කියලා බලාගන්න...ආයෙ බලන්න කම්මැලි කමක් දැනෙනවා.
    ප්‍රසන්නගෙ වෙහෙසෙ තරමට ප්‍රතිඵල නැහැ. සාමාන්‍ය චිත්‍රපටයක් විතරයි

    ReplyDelete